නින්දා අපහාස කියන්නෙම ගැහැනියට නැගිටින්න පු`ඵවන් හොඳම තැන

 

ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 178 සම්බන්ධව වාර්තාවට මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියකදි දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව සම්බන්ධ වාර්තාව ද ඇයට හිමියි.

ක්‍රිකට් ලෝක පූජිත ක්‍රීඩාවක්. එය උමතුවක් කිව්වොත් නිවැරදියි. මාර්තු අටවැනිදාට යෙදී තිබෙන ලෝකය කාන්තාව දෙස දෑස් විවර කර බලන කාන්තා දිනයේ, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයට ඔසවා තබමින් ක්‍රිකට් ක්‍රීඩාවේ එකපිට එක දස්කම් දැක්වූ ලෝකයම දිනු සුවිශේෂි චරිතයක් වෙනුවෙන් අද අපි සිරිකත තුළින් ඉඩකඩ වෙන්කරන්න අදහස් කළා. ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය වාර්තාවක් රැසක් උරුම කර දුන් සුපිරි පිතිකාරිනිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායිකා චමරි අතපත්තුයි. 2009 සිට මේ දක්වා අවුරුදු 12 ක කාලය තුළදී චමරි අතපත්තු එක් දින ශතක 5 ක් සහ 20 - 20 එක් ශතකයක් රැස් කිරීමට සමත් විය. එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව සහ එකම ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

තවද එක්දින ජාත්‍යන්තර තරගවලදි වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ එකම ශ්‍රීලාංකිය ක්‍රීඩිකාවද ඇයයි. එමෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් විසින් ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 178 සම්බන්ධව වාර්තාවට මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියකදි දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව සම්බන්ධ වාර්තාව ද ඇය උරුමකම් කියයි. එසේම එක්දින සහ පන්දුවාර 20 - 20 තරග රටාවන් දෙකේදීම ලකුණු 1000 සීමාව ඉක්ම වු පළමු සහ එකම ශ්‍රී ලාංකිය පිතිකාරිනිය වීමේ ගෞරවයද ඇයට හිමිවේ.

 

අපි චමරිගේ ජීවිතේ පටන් ගත්ත ගොකරැල්ල ගමෙන්ම කතාව ආරම්භ කරමු.

 

ඔබ ක්‍රීඩාවට යොමුවෙන්නේ?

අප්පච්චියි මට මුලින්ම බැට් එකක් ගෙනත් දෙනකොට මට වයස අවුරුදු 4 යි. මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න ලොකුම හේතුව වුණේ මගේ මාමා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. මාමාගේ අඩිපාරේ තමයි මම මේ ගමන ආවේ. පුංචි කාලෙදි මට ක්‍රිකට් ගැන දැනුමක් නැ. හැබැයි මාමා ක්‍රිකට් මැච් බලද්දි

මගේ නමෙන්ම කතාව පටන්ග මුකෝ. මම අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී කුමාරි අතපත්තු උපන්ගම කුරුණෑගල ගොකරැල්ල මූලික අධ්‍යාපනය ලැබුවේ ගොකරැල්ල ප්‍රාථමික විද්‍යාලයේ. ශිෂ්‍යත්වය සමත් වෙලා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. මම පවුලේ එකම දරුවා. පවුලේ අම්මයි අප්පච්චියි මමයි ඉන්නේ. මේ වෙන කොට මගේ අප්පච්චි ජීවතුන් අතර නැහැ. අප්පච්චි නැති වෙලා මේ යන්නෙ දහතුන්වැනි අවුරුද්ද. දැන් මගේ එකම ශක්තිය මගේ අම්මා. මාවත් වාඩිකරගෙන ඒවා කියලා දෙනවා. ඔහොම ඉතින් ටික කාලයක් යද්දි මම ක්‍රිකට් වලට ආස කළා. මේ ක්‍රීඩාවට එද්දි මගේ ජීවිතේ මුල්ම ගුරුවරයා වුණේ මගේ මාමා.

මම හාඩ්බෝල් සෙල්ලම් කරන්න පටන් ගනිද්දි වයස අවුරුදු 7 යි. ගමේ ඉද්දි ඒ කාලේ වැඩිපුරම ක්‍රිකට් සෙල්ලම් කළේ පිරිමි ළමයි එක්ක. මට මතකයි 86 ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දි මට අවුරුදු 6 යි. ඒ මැච් එක මට නරඹද්දි මටත් ක්‍රිකට් ගහන්න ආසාවක් ඇතිවුණා. ඊට පස්සේ 97 අවුරුද්දේ මගේ මාමා පත්තරේක ගිය ආර්ටිකල් එකක් ගෙනත් දුන්නා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යනවා කියලා. ඒක කියෙව්වම මට හිතුණා කවදාහරි මාත් සෙල්ලම්කරන්න ඕන කියලා. මාමාගෙ න් මම ඒ ගැන හරියට විස්තර ඇහැව්වා. මාමා ඒ වෙලාවේ කිව්වා ඔයත් මහන්සි වුණොත් ශ්‍රී ලංකා කාන්තා කණඩායම සෙල්ලම් කරන්න පුළුවන් කියලා. එදා ඉඳලා මම ජීවත් වූණේ ඒ හීනේ ඇතුළේ.

 

ඔබ පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගයට සහභාගි වුණු ඒ අත්දැකීම අද දැනෙන්නේ කොහොමද?
එතනට යන එක හිතපු තරම් ලේසි වුණේ නෑ. මුලින්ම කියන්න ඕන මගේ ක්‍රිකට් ගමන ආලෝකයක් වෙන්නේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය. 2002 දී මම පාසල් ලෙදර් පන්දු කණ්ඩායමට තෝරා ගැනෙනවා. මගේ පුහුණුකරු වෙන්නේ ජනක විජේතුංග අයියා. අවුරුදු 18 දී ඒ කියන්නේ 2008 දී මාව ශ්‍රී ලංකා ජාතික කාන්තා සංචිතයට එක්කර ගන්නවා. ඒත් ඒ සතුට තිබුණේ ඉතාම කෙටි කාලයයි. 2008 දී අප්‍රේල් 13 දා මාව ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට ඇරලලා යන අතරතුර හෘදයාබාදයකින් තාත්තා නැති වුණා. ඊට පස්සේ මට කොළඹ පුහුණුවීම්වලට එන්න විදියක් නැති නිසා කුරුණෑගල වසන්ත කුමාර සර් යටතේ මම පුහුණු වුණා. එතනින් පස්සේ මගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ ජීවන්ත කුලතුංග සර්. මගේ පිතිකරණ රටාව පහර දීමේ වේගය නියම තාක්ෂණයට අනුව කරන්න පුළුවන් වුණේ ජීවන්ත සර් යටතේ පුහණුවීම් ලබද්දි. ඔහොම ගිහින් 2009 දී තමයි මම පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගයට සහභාගි වෙන්නේ. එංගලන්තයේ තමයි පැවැත්වූයේ. 20 - 20 වල්ඩ් කප් යන ඉන්දියාවට එරෙහිව තමයි තරග කළේ. 2010 දී මගේ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා තරගය නියෝජනය කරනවා. ඒ බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව. මේ වෙන කොට 20 - 20 සහ එක්දින තරග 160 කට වගේ මම සහභාගි වෙලා තියෙනවා.

 

එදා ගෑනු ළමයෙක් ක්‍රිකට් ගහනවා කිව්වාම අමුතු විදියට බලපු සමාජය ඇතුළේ ඔබේ අප්පච්චි ඔබට මේ ගමන එක්ක යන්නේ බාධක කම්කටොලු ගොඩක් මැද්දේ.
මගේ ජීවිතේ වටිනාම දේ මගේ අප්පච්චි. අප්පච්චි නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මම ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගනිද්දි බොහෝ දෙනෙක් ඊට විරුද්ධ වුණා. ගමේ අය පවුලේ අය මම ක්‍රිකට් ගහනවට කැමති වුණේ නැහැ. අප්පච්චි පුතාලට හරිම කැමතියි... ඒ නිසා අප්පච්චි මාව හැදුවේ කොල්ලෙක් වගේ. එක තැනකදි මම උසස් පෙළට විද්‍යා විෂය තෝරා ගන්න සූදානම් වෙන කොට පුතේ ඔයා ඔය විෂය ධාරාව තෝරා ගත්තොත් ඔයාට ක්‍රිකට් අතාරින්න වෙනවා. ඔයාගේ ඇඟේ තියෙන්නේ ක්‍රිකට්. මම කැමති ඔය දෙකම සමබරව කරගෙන යන්න පුළුවන් විෂයක් තෝරා ගන්නවානම් කියලා කිව්වා. එදා අප්පච්චි මම නොදුටු දුරක් දැකලා තිබුණා. මට ජීවිතේට එල්ල වුණු බොහෝ බාධා මගහරිමින් බිඳහරිමින් මට ඉහළටම යන්න මාර්ගය සකස් කළා. ඒත් අන්තිම තත්පරේ අප්පච්චිට මාව අතහැරුණා.

 

තාත්තා අද හිටියා නම් ගොඩක් සතුටු වේවි. ඔබේ ජීවිතේ ක්‍රීඩාවේ වීරයෙක් හිටියද?
ඔව් මගේ ජීවිතේ සදාකාලික ක්‍රිකට් වීරයා සනත් ජයසූරිය අයියා.

 

ජීවිතේ ෆේල් වෙච්ච තැන් ඔබ කොහොමද දරාගත්තේ?
ක්‍රීඩාවක් කරද්දි ජයග්‍රහණය කරද්දි ගොඩක් මිනිස්සු අපිත් එක්ක ඉන්නවා වගේම තරග පරාජය වෙද්දි අපිට දැඩි ප්‍රහාර එල්ල කරනවා. දොස් කියනවා. දැන් ඒ හින්දා .. මට හරි පුරුදුයි. මුල් කාලේ මම ෆේල් කියලා හිතෙන තැන්වල දුක හිතලා තියෙනවා. මම දැන් ලැබෙන නින්දා ප්‍රශංසා සමසිතින් දරාගන්න පුරුදු වෙලා ඉන්නේ. ප්‍රේක්ෂකයෝ විදියට ඔවුන් සාධාරණයි. හැබැයි ක්‍රීඩාවක් කරද්දි ජය පරාජය දෙකම සම සිතින් භාරගන්න පුරුදු විය යුතුයි.

 

ප්‍රේමය මග හැරුණ තැන් නැද්ද ක්‍රීඩාව නිසා.
ක්‍රීඩාව නිසා පාසල් කාලෙදිත් ප්‍රේමය මගේ ජීවිතෙන් මගහැරුණා. මගේ ජීවිතේ 1, 2, 3 ස්ථාන තුනම දෙන්නේ ක්‍රීඩාවට. ප්‍රේමය, විවාහය, නෑදෑහිතමිතුරන් දෙමාපියන් එක්ක ඉන්න කාලය මගහැරිලා තියෙනවා. ඒ හැමදේම කැප කරලා තියෙන්නේ රට වෙනුවෙන්. ජිවිතේට ප්‍රේමය ආදරය තිබිය යුතුයි. හැබැයි කරන දේ හරියට කළ යුතුයි. ප්‍රේමය සහ විවාහයක තියන දේට අපි කැපකිරීම් කරන්න ඕනෑ. සහකරුවෙකු තෝරා ගන්නෙත් මට ඒ පවුල කියන දේ වෙනුවෙන් කැප වෙන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාව කරද්දි උදේ 6 ගෙදරින් යන එක ගෙදරට එනකොට රාත්‍රි 7, 8 වෙනවා. මගේ අතින් දේවල් මග ඇරෙන්න පුළුවන්. ඉතින් මාව තේරුම් ගත්ත සහකරුවෙක් මට මේ තාක් මුණ ගැහිලා නෑ. ඒ වගේ ඉවසන පිරිමි අද කාලේ හරි අඩුයි.

ගැහැනිය හැමදාම රාමු වෙලා ඉන්නේ එක ෆ්‍රේම් එකක් ඇතුළේ. මේ රාමුව බිඳගෙන ගිය කෙනෙක් විදිහට සමාජය කාන්තාව වෙනුවෙන් ඔබ යමක් කිවයුතුයි. කාන්තාවට දරාගැනීම ගැන කියලා

 

ඒ කියන්නේ චමරි විවාහය කියන දේ ජීවිතෙන් අමතක කරලද තියෙන්නේ?
අමතක කරලා නෑ. කවදාහරි මම ක්‍රීඩාවෙන් සමුගන්න දවසට විවාහය සිදු වේවි.

 

ගැහැනිය හැමදාම රාමු වෙලා ඉන්නේ එක ෆ්‍රේම් එකක් ඇතුළේ. මේ රාමුව බිඳගෙන ගිය කෙනෙක් විදිහට සමාජය කාන්තාව වෙනුවෙන් ඔබ යමක් කිවයුතුයි.
කාන්තාවට දරාගැනීම ගැන කියලා දෙන්න ඕන නෑ. ඇයට දරාගැනීම උපතින්ම ලැබෙනවා. අපි හැමදාම කොටුවක් ඇතුළේ ජීවත් විය යුතු නෑ. ගැහැනියට යන්න පුළුවන් දුර සීමාවක් නෑ. එකම දේ සමාජයෙන් තමන්ට එන නින්දා අපහාස ඒ සෑම දෙයක් ශක්තිමත්ම විඳදරාගැනීමේ ධෛර්ය ගැනීමයි. කාන්තාව මෙහෙකාරිය තත්ත්වයට පත්විය යුතු නෑ. හැම කෙනෙකුටම විශේෂ වු මොනයම් හෝ දක්ෂතාවක් තියෙනවා. ඒවා ඉෂ්ටකර ගන්න යද්දි නින්දා අපහාස එන්න පුළුවන්. ගැහැනියකුට නැගිටින්න හොඳම තැන තමයි හින්දා අපහාස කියන තැන. එතැනදි එන ආත්ම ශක්තිය හරිම බලවත්.

 

අම්මා ගැන එක වචනයකින් කියනවා නම්
එක තැනකදි චෝදනාවක් ආවා මාගේ අප්පච්චි නැති වුණේ මාව පුහුණුවිම් ඉවරවෙලා යද්දි නිසා අප්පච්චි නැති වුණේ මම නිසා කියලා. අම්මා තමයි ඒ තැන් වලදී මට හිටපු එකම ශක්තිය. අප්පච්චි නැති වුණාට පස්සේ අම්මාගේ ශක්තිය මට නොලැබුණා නම් අද චමරි අතපත්තු කෙනෙක් බිහි නොවන්න තිබුණා.

 

පුංචි කාලේ ඉඳලා හීන දැකපු මේ ක්‍රීඩා ගමනේ නියම තැනට එන්න ලැබුණා කියලා හිතනවාද?
සහ අද ඔබ ඉන්න තැන ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? පෞද්ගලිකව මගේ දක්ෂතා පැත්තෙන් ගත්තොත් 90% පමණ මගේ අරමුණ කරා මම ඇවිත් තියෙනවා. මම මගේ ක්‍රිකට් ජීවිතේ තව පොඩි දේවල් ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ. හැබැයි කණ්ඩායමක් විදිහට අපේ කණ්ඩායම ක්‍රීඩා කරන විලාසය සහ ඒ ජයග්‍රහණ සම්බන්ධව වර්තමාන නායිකාව හැටියට මට සෑහීමකට පත් වෙන්න බෑ. දැනට මගේ නායකත්වය යටතේ 20 - 20 ලෝක කුසලාන අවසාන 5 දෙනා අතරට ඇවිල්ලා තියෙනවා. එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙනත් දෙන එක.

 

ඔබේ ජයග්‍රහණයන්ට ලැබුණු ඇගයිම් ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
මම හැම වෙලාවෙම උත්සාහ කළේ රට වෙනුවෙන් උපරිම දෙයක් කරන්න. මම සම්මාන ඇගයිම් බලාගෙන ක්‍රීඩා කරලා නැ. අද වෙනකම් සමහර තැන් ඇගයීමට ලක්වුණා. ඒ නිසාම සමහර තැන් ඇගයීමට ලක් වුණේ නැ. ඒවා ගැන මම දුක්වෙන්නේ නැ.

 

ලැබෙන ජනප්‍රියත්වය රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම තමයි හැම තැනකදිම ජනප්‍රිය වුණේ. දැන් වෙන කොට කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාවොත් ජනතා ආදරයට පාත්‍රවෙලා තියෙනවා. ඒ අතර මටත් ඉන්න ලැබීම ගැන සතුටුයි. ප්‍රේක්ෂක ආදරය එක්ක තමයි අපේ කැමැත්ත තියෙන්නේ.

 

ඔබ වෘත්තියමය ක්‍රිකට් ක්‍රීඩිකාවක්ද?
ඔව් මම වෘත්තියමය ක්‍රිකට් ක්‍රීඩිකාවක් මම කලින් රැකියා කීපයකුත් කළා. ඒත් මගේ අප්පච්චිට ඕන වුණේ මම වෘත්තිය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන වා බලන්න. බොහොම දුෂ්කර මාර්ගයක් ගෙවාගෙන මම ඒ මග ආවා.

නදීෂා අතුකෝරල 
ඡායාරූප 
සජීව ලක්ෂාන්.


 

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය Read Previous

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය

St Peter’s College Old Boys Dinner Dance Read Next

St Peter’s College Old Boys Dinner Dance

Realted Post

Leave a comment